Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2017 21:58:09 Hours

අමරපුර මහානායක ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය අද (06) දින දහවල් නිදහස් චතුරස්‍රයේ දී සියලු රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මහ සංඝයා ඇතුලු අනෙකුත් පූජ්‍ය පක්ෂයේ අයවලුන් ද අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමා, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් අවමඟුල් පෙරහැර පාගොඩ විද්‍යා විජයාරාම ධර්මදුත විහාරස්ථානයේ සිට නිදහස් චතුරස්‍රය වෙත පස්වරු 3.00 වන විට ළගා වූ අතර එම ශ්‍රී දේහය, උන්වහන්සේගේ ශීෂ්‍ය හිමිවරුන් ඇතුලු මහානායකහිමිවරුන් විසින් භාරගනු ලැබිය.

සම්ප්‍රදායික පාංශුකුලය පිරිනැමිම හා පිංඅනුමෝදනාවෙන් අනතුරු අදාහන පූජෝත්සවය වැඩකටයුතු ආරම්භ කළ අතර, මහසඟරුවන නියෝජනය කරමින් ප්‍රධාන නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා කිහිපයක් ද පැවැත්වුණු අතර, අමරපුර සංඝ සභාවේ ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේ විසින් පිළිගැනිමේ කතාව සිදු කරන ලදී.

මල්වතු පාර්ශ්‍රවයේ අනුනායක අතිපුජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ, අතිපුජ්‍ය නාපාන ප්‍රේමසිරි මහනායක ස්වාමින් වහන්සේ, අතිපුජ්‍ය ආචාර්ය බ්‍රහ්මනවත්තේ සිවලී ස්වාමින් වහන්සේ සහ කතෝලික, මුස්ලිම්, හින්දු, පුජකවරුන් විසින් වෙන් වෙන් වශයෙන් දේශනාවන් සිදු කරමින් අපවත් වු දේවාලගම මහානායක ස්වාමින් වහන්සේ වෙත සිය ගෞරවය පුද කළහ.

තවද මෙහිදි රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා කරන ලද මෙහෙවර හා උන්වහන්සේගේ ආදර්ශමත් දිවිපෙවත අගයන ලදි. තවද, වසර 90 කට වැඩි උන්වහන්සේගේ ජිවිත කාලය බුද්ධ ශාසනය සඳහා සිදු කළ කැපවිම මඟින් උන්වහන්සේට මෙරටින් හා විදෙස් රටවලින් ලැබුණු ගරු නම්බුනාම ගැන ද ජනපතිතුමා සිහිපත් කළහ. මෙහිදි පුන්‍යානුමෝදනාව සහ ස්තුති කතාව අපවත්වී වදාළ මහානායක ස්වාමින් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශීෂ්‍ය ස්වාමින් වහන්සේ සහ අමරපුර සංඝ සභා කමිටුවේ සභාපති අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා විසින් සිදු කරන ලදී.

ඉන් අනතුරුව, අපවත්වී වදාළ මහානායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය ආදහන මලුවේ තැන්පත් කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආචාර වෙඩිමුර 17 ක් පිරිනැමුහ. අපවත්වී වදාළ මහනායක ස්වාමින් වහන්සේගේ ශීෂ්‍ය ස්වාමින් වහන්සේලා විසින් ශ්‍රී දේහය වෙත ගෞරව පුද කළ අතර, ඥාතින් දෙදෙනකු විසින් ආදහන චිතකය වෙත ගිනිදැල්වීම සිදු කරන ලදී.

පාගොඩ විහාරස්ථානයේ සඳුදා (03) දින නාහිමිගේ ශ්‍රී දේහය තැන්පත් කළ පසු එම ශ්‍රී දේහය රැගෙන යන තෙක් ගෞරව දැක්විම සඳහා යුද, නාවික හා ගුවන් හමුදා භට පිරිස් පැය 24 පුරා ගෞරව රාජකාරීන් හී යෙදෙන ලදී.

spy offers | Nike