Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2023 00:05:29 Hours

අභාවප්‍රාප්ත කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

වසර 23 කට අධික කාලයක් මවුබිම වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටුකළ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (16) දින පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි.

දිවංගත කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ මෘත දේහය හමුදා සම්ප්‍රදායානුකූලව කාතුගැල (Gun Carriage) මත තැන්පත් කර ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. එම අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව භටපිරිස් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ සංවේගාප්‍රාප්ත පවුලේ සාමාජිකයින් ද පැමිණියහ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ අභාවප්‍රාප්ත කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඩ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, අභාවප්‍රාප්ත කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.

මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි විසින් අභාවප්‍රාප්ත කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්‍රාමික හා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සංවේගයට පත් විශාල පිරිසක් සහභාගී වූහ.

කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පීඑස්සී (විශ්‍රාමික) වර්ෂ 1978 ජූලි මස 03 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී මූලික පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් පසුව වර්ෂ 1980 ජනවාරි මස 23 දින අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්ත කෙරිණි.