Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2023 22:27:06 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ හේවගේ වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

වසර 33 කට අධික සේවා කාලයකින් පසුව නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් පසුගිය සදුදා (ඔක්තෝබර් මස 16) දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් පසුව සේවා මුක්ත භටසංගමයේ මාණ්ඩලික නිලධාරී 1 ලුතිනන් කර්නල් ජගත් පල්ලෙකුඹුර විසින් එතුමන් උණුසුම් අයුරින් පිලිගනු ලැබීය. අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ විසින් බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී උත්සව අවස්ථාව සඳහා පිලිගනු ලැබූ අතර, එහිදී අශිකා තිබ්බොටුගේ මහත්මිය විසින් දීපානි ගුණරත්න මහත්මිය පිළිගනු ලැබීය.

හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළ අතර, එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ. එතුමන් අනතුරුව, රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය.

බ්‍රිගේඩියර් ආර්.ඩබ්ලිව්.කේ හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වූ අතර, අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටීමෙන් පසුව දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

රෙජිමේන්තුවේ සියලු නිලයන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කැපවූ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කළේය.

විශ්‍රාම දිවියට එළඹෙන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි එම අවස්ථාවට රැස්ව සිටි සියලුම නිලධාරීන් අමතමින්, ‘සිංහ’ පවුලේ සාමාජිකයෙකු ලෙස තම රාජකාරිය ඉටු කිරීමට සහයෝගය ලබාදුන් සියළුම දෙනා වෙත සිය කෘතවේදීත්වය පළකළේය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මිය විසින් මෙහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව වන වත්සලා දීපානි ගුණරත්න මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සමකාලීන මිත්‍රයින්, මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන්ගේ සහභාගී වූහ.