15th October 2023 22:49:58 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 13) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී රාජකාරි භාරගත්තේය.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් එම රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකට අභියසදී දිවංගත රණවිරුවන් අනුස්මරණය කරනු ලැබීය. අනතුරුව, රෙජිමේන්තු සරඹ භූමියේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව බලකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද සහභාගී විය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් එම මූලස්ථාන නිලධාරි නිවස්නයේදී නිලධාරින් ආමන්ත්‍රණය කළේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී මේ වනවිට බටලන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධූරය ද හොබවයි.