Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2023 23:42:00 Hours

අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් නිල සංචාරයක

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් උතුරු ප්‍රදේශයේ යුද්ධ හමුදා කඳවුරුහි සිදුකරනු ලැබූ නිල සංචාරයෙන් අතරතුරව පසුගිය බදාදා (25) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් වෙත පැමිණි අතර, එහිදී එම සේනාංකයේ ආඥාපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් එතුමන් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive past) පිරිනමනු ලැබීය.

මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් බලප්‍රදේශයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඒ සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ඇතුළුව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස්, 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද රණසිංහ, 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම, 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නලින් ජයවර්ධන, 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරල් අනිල් ඉලංගකෝන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් හි මාණ්ඩලික නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

මේජර් ජෙනරල් නිශාන්ත මානගේ 59 වන සේනාංකය යටතේ පවත්වාගෙන යනු ලබන නන්දිකඩාල් බලඇණි පුහුණු පාසල වෙතද සංචාරයේ නිරතවූ අතර, එහිදී දැනට බලඇණි පුහුණු පාඨමාලාව හදාරනු ලබන 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සමඟින්ද සුහඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී. පසුව එතුමන් 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු කඳවුර වෙත සහ 68 වන සේනාංක මූලස්ථානය වෙත ද සංචාරයේ නිරත විය.

සංචාරය සමාප්තියේ මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, එතුමන් විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. පසුගිය අඟහරුවාදා (24) දින ආරක්‍ෂක සේනා මූලස්ථාය - යාපනයෙහි සිදුකරනු ලැබූ නිල සංචාරයේදීද එම මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් බලප්‍රදේශයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු සම්බන්ධව සාකච්ඡාවක් පවත්වන ලදී.