20th January 2023 20:27:56 Hours
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2023 වර්ෂය සඳහා ඉංජිනේරු නිලධාරීන්ට තාක්‍ෂණික පුහුණුව ලබාදීමේ අරමුණින් ‘යතුරුපැදි අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම‘ යන මාතෘකාව යටතේ පුහුණු වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (13) දින හොරණ ‘ටී.වී.එස් ලංකා’ (TVS Lanka) ලංකා වාහන එකලස් කිරීමේ සංකීර්ණයේදී පවත්වන ලදී. මෙම පුහුණු වැඩසටහන සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් 20 දෙනෙකු සහභාගී වූහ.
මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ මූලිකත්වයෙන් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ජයසේකරගේ සමීප අධීක්‍ෂණය යටතේ ටී.වී.එස් ලංකා සමාගම සමඟ සම්බන්ධීකරණයෙන් පවත්වන ලදී.
සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි ක්‍ෂණික විහිදුම් කණ්ඩායම්වල ප්‍රධාන වශයෙන් භාවිතා කරන ‘ටී.වී.එස් ලංකා ඇපාචි ආර්ටීආර් 200’ (TVS Lanka) (TVS Apache RTR 200) යතුරුපැදි පිළිබඳව මෙම පුහුණුවේදී විශේෂයෙන් අවධානය යොමු කරන ලදී.
එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර විසින් ‘ටී.වී.එස් ලංකා (TVS Lanka) ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීතාල් ඇන්තනි මහතා, අලෙවියෙන් පසු සහ වැඩමුළු මෙහෙයුම් සහකාර සාමාන්‍යාධිකාරී ඉන්දික පුෂ්පකුමාර මහතා සහ ආයතනික සහකාර කළමනාකාරිනී තනුජා දිනාලි මහත්මිය විශේෂ ඇගයීමට ලක් කරන ලදී. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.