Header

Sri Lanka Army

Defender of the Nation

07th January 2023 22:21:12 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ 2 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

අම්බලන්ගොඩ, කරන්දෙණිය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ 2 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ජනවාරි මස 02 සිට 04 දින දක්වා කාලය තුළ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ගේ උපදෙස් මත පසුගිය සඳුදා (2) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේදී සුහද හමුවක් පැවැත්විණි.

එදිනම, මහා සංඝරත්නය වෙත දානය පූජාකර වරුසවිතාන වැඩිහිටි නිවාසය වෙත පරිත්‍යාග වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරුණු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බන්දුල බණ්ඩාර ගේ සහභාගීත්වයෙන් බෝධි පූජාවක් ද පැවැත්විණි. මෙම වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ කර්නල් සේනාවිධායක ඇතුළු සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.

සංවත්සර දිනයේදී (4), රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි එම රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායකතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකරනු ලැබූහ.

මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකායේ කර්නල් සේනාවිධායක විසින් භටපිරිස් අමතා සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ශාන්ති අබේසේකර මහත්මිය ද සහභාගී වූවාය.