07th January 2023 22:25:00 Hours
යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් තියාහි පුණ්‍යායතනයේ නිර්මාතෘ හා සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා සහ චුල්ලිපුරම් කෝවිලේ ප්‍රධාන බැතිමතුන්ගේ සාමූහික අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් කාලසීමාව තුළ ජාතික මට්ටමේ ජයග්‍රහණවලින් පසුව කාන්තා ජාතික ක්‍රිකට් සංචිතයේ (අවුරුදු 19 න් පහළ) සාමාජිකාවක් බවට පත්වෙමින් යාපනයේ චූල්ලිපුරම් හි වික්ටෝරියා විද්‍යාලයට සම්මාන ගෙන ආ සෙල්වරාසා කිරිස්ටිගා මෙනවියට නව නිවසක් ඉදිකරදීමට කටයුතු කරනු ලැබූහ.
නව නිවස විවෘත කිරීමේ උත්සවය පසුගිය පොහෝ දිනයේදී (06) පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ සුරතින් සෙල්වරාසා කිරිස්ටිගා මෙනවිය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් වෙත නව නිවසේ යතුරු භාරදෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින්, අනුග්‍රාහක භවතුන්, නිවාසලාභියාගේ ඥාතීන්, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර, 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රිස්වි රාසික්, 16 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් කේ.ඩබ්ලිව්.කේ. හේමන්ත සහ එම ඒකකයේ භටපිරිස් ද සහභාගී වූහ.
තියාහි පුණ්‍යායතනයේ නිර්මාතෘ සහ සභාපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතා විසින් ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ලබාදුන් අතර චූලිපුරම් කෝවිලේ භාරකරුවන් විසින් නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම පරිත්‍යාග කරන ලදී. යාපනය ප්‍රදේශයේ අනෙකුත් ක්‍රීඩාලෝලීන් දිරිමත් කිරීමේ සහ ඔවුන් ප්‍රබෝධයට පත්කිරීමේ අරමුණින් භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ ඉංජිනේරු විශේෂඥතාව මෙන්ම ඔවුන්ගේ ශ්‍රම දායකත්වය මත මෙම නව නිවස නියමිත කාලය තුළ ඉදිකිරීමට හැකියාව ලැබිණි.
උත්සවය අතරතුර නිවාසලාභියා වෙත ත්‍යාග සහ වියළි ආහාර සලාක පාර්සල් ද පරිත්‍යාග කෙරිණි. සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කැපීමෙන් අනතුරුව නව නිවසේ යතුර සංකේතාත්මකව නිවාසලාභියා වෙත ප්‍රදානය කෙරිණි.