Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2022 20:15:00 Hours

යුද්ධ හමුදා නිලධාරීන්ගේ මෝටර් යාන්ත්‍රික දැනුම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික වැඩමුළුවක්

යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ආරාධනාවකට අනුව ලංකා අශෝක් ලේලන්ඩ් පුද්ගලික සමාගම විසින් ‘රථවාහන කළමනාකරණය සහ නඩත්තු කිරීමේ නවීන ප්‍රවණතා’ මැයෙන් ප්‍රායෝගික වැඩමුළුවක් එම සමාගම් පරිශ්‍රයේදී නොවැම්බර් මස 3 සහ 4 යන දෙදින තුල පවත්වන ලද අතර, එම ප්‍රායෝගික වැඩමුළුව වෙනුවෙන් යුද්ධ හමුදා නිලධාරින් 20 දෙනෙකු සහභාගී විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ජයසේකරගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩමුළුව පවත්වන ලද අතර, එහිදී රථ වාහන සඳහා වූ නවීන තාක්ෂණය, රථ වාහන නිසි ලෙස නඩත්තු කිරීම, අමතර කොටස් එකලස් කිරීම සහ අළුත්වැඩියා කිරීම, දෝෂ සෙවීම, දෝෂ නිරාකරණය සහ රථවාහනවල ආයු කාලය දීර්ඝ කිරීම යනාදී සම්බන්ධ කරුණු පිළිබඳව එම ආයතනයේ ඉංජිනේරු ශීල්පීන් විසින් ප්‍රායෝගික දැනුවත් කිරීමක් යුද්ධ හමුදා නිලධාරීන් වෙත ලබාදෙන ලදී.

මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහභාගී වූ අතර, දෙදින වැඩමුළුව සඳහා ලංකා අශෝක් ලේලන්ඩ් පුද්ගලික සමාගමෙහි හි ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම් (Mr. Umesh Gautham), නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විපින් ඕරි (Mr. Vipin Ohri) සහ සාමාන්‍යාධිකාරී සුගත් වීරකෝන් යන මහත්වරුන්ද සහභාගි වූහ.