12th October 2022 15:00:10 Hours
යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරීන් සහ සෙසු නිලයින් 146 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සහභාගීත්වයෙන් කල්පිටිය ක්‍ෂේත්‍ර වෙඩි පිටියේදී දින 4ක කාලයක් පුරා පැවති ජීව වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාසය විසිරයෑමේ උත්සවය පසුගිය සිකුරාදා (30) දින පැවැත්විණි.
වවුනියාවේ, පෙරියතම්පනෛ ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය විසින් 2022 වර්ෂයේ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාවේ සාමාජිකයන් සහ සන්නද්ධ රථ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් වසර 7 කට පසුව දෙවන වරටත් පැවැත්වූ මෙම ජීව වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාසය සඳහා මූලික සංඥා වෙඩිකරු (APC - Gun Operator Course) පාඨමාලාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ තවත් තෝරාගත් නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී විය. මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යෙදවීමට පෙර ඔවුන් මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.
මෙම ජීව වෙඩි තැබීමේ අභ්‍යාසයේදී BMP MK II සන්නද්ධ රථ දෙකක්, T 89 VPI සන්නද්ධ රථ දෙකක්, WMZ 551B සන්නද්ධ රථයක් සහ 30 මි.මී. කැනන් අවි, 12.7 මි.මි. ගුවන් යානා නාශක මිසයිල (AAMG වර්ගයේ QJC 88), 7.62 මි.මී. PKT අවි ආධාරයෙන් ජීව වෙඩි තැබීම් සිදුකෙරිනි.
මෙම ජීව වෙඩි තැබීමේ අභ්‍යාසය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය ගේ උපදෙස් හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් නලීන් ප්‍රභාත් ගේ දැඩි අධීක්‍ෂණය යටතේ පැවැත්විණි. එහි සම්බන්ධීකරණ කටයුතු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් ජීවන් රණසිංහ විසින් සිදුකළේය.
සාමාජිකයන් 146 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම සඳහා මෙම ජීව වෙඩි තැබීමේ පුහුණු පාඨමාලාව තම යුද්ධ හමුදා දිවිය තුළ සුවිශේෂී අත්දැකීමක් විය.