Header

Sri Lanka Army

Defender of the Nation

11th October 2022 13:16:25 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුල් 250 කට වියළි සලාක පාර්සල්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් ‘Siyamcity Cement'(Pvt) Limited Company’ සමාගම වෙතින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත වඩිමුනේ, උත්තුච්චිනායි සහ කල්ලච්චි යන ප්‍රදේශවල ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (03) දින ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් උත්තුච්චිනායි දමිළ පාසල් පරිශ්‍රයේදී අඩු ආදායම්ලාභී පවුල් 250 ක් වෙනුවෙන් එකක් රුපියල් 6000/= ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 250 ක් බෙදාදෙන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් හා 232 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

පල්ලෙකැලේ නාලන්දා බෞද්ධ පාසලේ විදුහල්පති පූජ්‍ය කැටකුඹුරේ ධර්මාරාම හිමිපාණන් විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද අතර පරිත්‍යාග උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගී විය.

මෙම වැඩසටහන සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග, 232 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියශාන් මල්වරගේ, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් රජීව් ප්‍රනාන්දු, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ප්‍රභාත් හල්පගේ, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් චන්දන වන්නිනායක, නිලධාරින් සහ සෙසුනිලයන් මෙන්ම පරිත්‍යාගශීලි නියෝජිත ආයතනයන්හී සාමාජිකයන් පිරිසක් ද එක්වූහ.