11th October 2022 13:27:44 Hours
දකුණු සුඩානයේ පිහිටි දෙවන මට්ටමේ රෝහල් තුළ සාමසාධක රාජකාරීන්හී නිරත 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ සේවය පැසසුමට ලක්කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක පදක්කම් පිරිනැමීමේ උත්සවයක් දකුණු සුඩානයේ, බෝර් ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් (UNMISS) මූලස්ථානයේදී පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම් ආඥාපති ලුතිනන් ජෙනරල් මොහාන් සුබ්‍රමනියන් (Lieutenant General Mohan Subramanian) සමඟින් නැගෙනහිර කලාප අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ජෙනරල් ධෘබා ප්‍රකාශ් ෂාහ් (Brigadier General Dhruba Prakash Shah), ක්‍ෂේත්‍ර කාර්යාල ප්‍රධානී ගීතා පියස් මහත්මිය (Field Office Mrs Geetha Pious), සිවිල් සහ හමුදා නිලධාරීන් පරිසක් සහභාගි වූහ.
දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහල්හි සාමසාධක රාජකාරීන්හී සේවයේ නියුතු 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.එම්. නිෆ්ලාර් විසින් මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වන ලදී.
මෙම උත්සවයට සමගාමීව, ශ්‍රී ලංකා යුද හමුදාවේ විනය, එකමුතු බව, අඛණ්ඩතාව, ඉගෙනීම සහ නායකත්ව කුසලතා පිළිබිඹු කරමින් සරඹ සංදර්ශනයක් සහ සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්විණි.