Header

Sri Lanka Army

Defender of the Nation

07th October 2022 16:58:52 Hours

යාපනය භටපිරිස් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් මේ වනවිට යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ යාපනය, චංකානි ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ තවත් නව නිවසක් පසුගිය සඳුදා (3) දින නිවාසලාභීන් වෙත පවරාදෙන ලදී.

මේජර් ජෙනරල් ආර්. රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණය මත කැනඩාවේ වෙසෙන වින්සන් සින්නදොරෙයි මහතා විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත 51 වන සේනාංකය යටතේ 513 වන බලසේනාවේ භටපිරිස් විසින් මෙම නව නිවස ඉදිකිරීම සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් උදය කුමාර ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී හින්දු ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් නව නිවස විවෘත කිරීමේ කටයුතු සිදුකෙරිණි. එහිදී, නිවාසලාභි විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන දරුවන් දෙදෙනෙකු සිටින මවක් වන සුලක්‍ෂණා විජයකාන්ත මහත්මිය වෙත නව නිවසේ යතුරු භාරදෙන ලදී.

513 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රිස්වි රාසික් ගේ උපදෙස් හා 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.පී.සී.කේ. කාරියවසම් ගේ අධීක්‍ෂණය මත 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

යෙදී තිබුණු සුබ මොහොතින් නව නිවසේ සමරු ඵලකය නිරාවරණය කර ආගමික කටයුතුවල නිරතවීමෙන් පසු නිවාසලාභියා වෙත නව නිවසේ යතුරු භාරදෙන ලදී. එම අවස්ථාවේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් නිවාසලාභියා වෙත අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩ කට්ටලයක් සහ වියළි සලාක පාර්සලයක් පරිත්‍යාග කරන ලදී.

මෙම නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් උදය කුමාර, 513 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රිස්වි රාසික්, නිවාසලාභියාගේ ඥාතීන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.