Header

Sri Lanka Army

Defender of the Nation

04th October 2022 14:00:52 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයෙකුට නව නිවසක්

දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ මූලිකත්වයෙන් අම්බලන්ගොඩ, කොස්ගොඩ ප්‍රදේශයේ වෙසෙන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය ඉරිදා (2) දින විවෘත කරනු ලැබීය.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ සංකල්පයකට අනුව නිවාස අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයින් වෙත මෙම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූ අතර මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නව නිවාස 5 ක් ඉදිකිරීමට නියමිතව ඇත.

එම ව්‍යාපෘතිය යටතේම ඉදිකරනු ලැබූ දෙවන නිවස වන මෙම නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන් නියෝජනය කරමින් එම රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දනූෂා වීරසූරිය මහත්මිය සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ. අබේසිංහ සහභාගී වූහ.

1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයෙකු වන නව නිවසේ නිවාසලාභියා සතු මූල්‍ය දුෂ්කරතා පිළිබඳ සලකා බලා ඔහු වෙත නව නිවස ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් ඉදිකරනු ලැබූ නව නිවයේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ඉංජිනේරු කුසලතාවයන් එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදුන්හ.

මෙම නව නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාවේ ලේකම් ස්වර්ණමාලි ඒකනායක මහත්මිය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු සාමාජිකයින්, 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඒ.සී.ආර්. තිලකරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්වූහ.