02nd October 2022 20:11:11 Hours
යුද්ධ හමුදාව වෙතින් වාර්ෂිකව පවත්වනු ලබන ‘යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය - 2022’ මෙවරත් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ඉරිදා (2) දින උදෑසන ආරම්භ වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදා රෙජිමේන්තු 15 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 147 දෙනෙකු සහභාගී වූහ.
බත්තරමුල්ල යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ වූ මෙම තරඟයේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදය දක්වා කිලෝමීටර් 22 ක පමණ දුරක් ගෙවා නරඹන්නන්ගේ අත්පොලසන් හඩ මධ්‍යයේ තරඟය අවසන් කරන ලදී. මෙම තරඟ ඉසව්ව යුද්ධ හමුදා ක්‍රීඩා දින දර්ශනයෙහි ඉතා ජනප්‍රිය ක්‍රීඩා අංගයකි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව විසින් මෙම තරඟය සංවිධානය කරන ලදී. මෙවර තරඟය සඳහා කාන්තා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහභාගී වූ අතර, තරඟය උදෑසන 0600 පැයට ආරම්භය විය. ඒ අනුව, දියත උයන, බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය, හබරකඩ යන නගරයන් පසුකරමින් හයිලෙවල් මාර්ගය හරහා නැවතත් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාර පරිශ්‍රයේදී තරඟය නිමවිය.
මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළු පිරිසක් තරඟය නිමවන ස්ථානයට පැමිණ සිටියහ.
ඉන් අනතුරුව, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ ලේකම්ගේ ආරාධනයකට අනුව ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග, පදක්කම් සහ කුසලාන පිරිනැමීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී එක්විය.
වර්ෂ 1951 දී ආරම්භ කරන ලද යුද්ධ හමුදා මාර්ග ධාවන ශූරතාවලිය තුළින් මේ දක්වා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ යුද්ධ හමුදා මැරතන් ධාවකයන් බොහෝ පිරිසක් නිර්මාණය කර ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වුණු මෙම තරඟාවලියේ නිරික්‍ෂණ කටයුතු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති විනිසුරු මඩුල්ලක් විසින් සිදු කරනු ලැබිණි.
තරඟාවලියේ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;
සමස්ත ශූරතාව - (පිරිමි කාණ්ඩය) - යුද්ධ හමුදා සේවා බලකාය
සමස්ත ශූරතාව - (කාන්තා කාණ්ඩය) - යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘ඒ’ කණ්ඩායම
පිරිමි කාණ්ඩය
පළමු ස්ථානය - බොම්බොඩියර් කේ සම්මුගේෂ්වරම් (ශ්‍රී ලංකා කාලතුවක්කු බලකාය)
දෙවන ස්ථානය - කෝප්‍රල් පීකේඑස්එම්එස් ගුණසේකර (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)
තෙවන ස්ථානය - සාමාන්‍ය සෙබල කේකේඑල් ප්‍රමෝද් (ශ්‍රී ලංකා පාබල හමුදාව)
කාන්තා කාණ්ඩය
ප්‍රථම ස්ථානය - කාන්තා සෙබල එච්එම්ඩබ්ලිව්පීඩබ්ලිව් හේරත් (යුද්ධ හමුදා කාන්තා බලකාය)
දෙවන ස්ථානය - කාන්තා සෙබල එච්එම්පී හේරත් (යුද්ධ හමුදා පොදු සේවා බලකාය)
තෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඒඑස්එන් බණ්ඩාර (යුද්ධ හමුදා කාන්තා බලකාය)