27th September 2022 16:56:29 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලැබූ තවත් එක් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉංග්‍රීසි භාෂා උපදේශකයින් විසින් පලාලි උතුර රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී. පසුගිය ඉරිදා (25) දින ආරම්භ වූ මෙම වැඩසටහන පැය දෙකක කාලයක් ආවරණය වන පරිදි යාපනය, ටී හන්දිය අසල පිහිටි ‘අම්බලම’ පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව ඇත.
ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ඉහළ නැංවීමට එම සිසු සිසුවියන් වෙත සහයෝගය ලබාදීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ඉංග්‍රීසි උපදේශිකා කපිතන් රෝෂිනි රණසිංහ විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම වැඩසටහන සඳහා එක්වන පාසල් සිසු සිසුවියන් වෙත ප්‍රවාහන පහසුකම් ද යුද්ධ හමුදාව වෙතින් සපයනු ලබයි.
ඒ අනුව, 511 වන බලසේනාව වෙතින් මේ දක්වා වැඩසටහනට එක් වූ සිසු සිසුවියන් 20 දෙනා වෙත ප්‍රවාහන පහසුකම් මෙන්ම සහභාගී වන සියලුම සිසු සිසුවියන් වෙත කෙටි ආහාර වේලක් ද ලබාදෙනු ඇත. මෙම වැඩසටහනේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා පලාලි රජයේ දමිළ මිශ්‍ර පාසලේ විදුහල්පති, ගුරු භවතුන් සහ සිසු සිසුවියන් 20 දෙනෙක් සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සහ සිවිල් වැසියන් අතර සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.