Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2022 17:10:02 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර ‘අභිමංසල - 1’ හි සංචාරයක

අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී 73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව පැවති ආශිර්වාද පූජාවෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ත්‍රස්තවාදීන්ගෙන් මවුබිම ආරක්‍ෂා කරගැනීම සඳහා යුද බිමේ එඩිතරව ඉදිරියට යමින් නිර්භීතව අසමසම පරිත්‍යාගයන් සිදුකර රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අනුරාධපුර ‘අභිමංසල - 1’ හි සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවකු විසින් පිළිිගනු ලැබූ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසමින් සෑම රණවිරුවෙකු වෙතම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය. මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරාන් ඒකනායක, අභිමංසල - 1 සුවතා නිකේතනයේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක් වූහ.

අභිමංසල - 1 සුවතා නිකේතනයෙන් නික්ම යාමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.