Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2022 10:46:44 Hours

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ 231 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සහ මෙම මස 23 - 30 දින දක්වා යෙදී තිබෙන සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමගාමීව පසුගිය සෙනසුරාදා (24) දින කාත්තන්කුඩි සිට මඩකලපුව දක්වා වෙරළ තීරය පිරිසිදු කරන ලදී.

මෙම වැඩසටහන 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බංඩාරගේ උපදෙස් මත සහ 11 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් වයි.එම්.ඒ.බී යාපාගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් සහ කාත්තන්කුඩිය ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය මත සිදු කෙරිනි.

මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 141 වන බලසේනාවේ භටපිරිස් විසින්ද ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව පසුගිය සිකුරාදා (23) දින මීගමුවේ සිට පෝරුතොට දක්වා වූ කිලෝ මීටර් 3 ක පමණ දුර ප්‍රමාණයක් ආවරණය වන පරිදි වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා දායකත්වය ලබා දෙනු ලැබූහ.

මෙම වැඩසටහන සඳහා 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් සමගින් මීගමුව මහනගර සභාවේ සහ වෙරළ සංරක්‍ෂණ අධිකාරියේ කාර්ය මණ්ඩලයද ස්වේච්ඡාවෙන්ම සිය දායකත්වය ලබා දෙන ලදී.