Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2022 17:00:50 Hours

73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව බදාදා (21) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඔක්තෝම්බර් මස 10 දිනට යෙදී ඇති යුද්ධ හමුදා දිනයට ආශිර්වාද එක්කිරීම සඳහා යුද්ධ හමුදා ධජයන් පෙරටු කරගත් නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම ආශිර්වාද පූජාව සඳහා එක්වූහ.

සියලුම යුද්ධ හමුදා රෙජිමේන්තු, ආරක්‍ෂක සේනා මූලස්ථාන, පුහුණු පාසල්, සේනාංක, බලසේනා සහ ඒකකවල ධජ, යුද්ධ හමුදා බෙර වාදන ශිල්පීන් පෙරටු කරගනිමින් ඉමහත් භක්තියෙන් තෙවරක් ‘කිරිවෙහෙර’ චෛත්‍ය රාජයාණන් වටා පැදකුණු කොට ආශිර්වාද පතා පූජාසනයක තැන්පත් කරමින් යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද පැතීය. ඉන් අනතුරුව, පැවැති විශේෂ කප්රුක් පූජාව සඳහා සහභාගී වූ සියලුදෙනා කිරිවෙහෙර පරිශ්‍රයේ පොල්තෙල් පහන් දැල්විමෙන් අනතුරුව ගිලන්පස පූජාවක් ද පැවැත්වීය.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදාවට ආශීර්වාද එක් කළේය. පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුක්තව මහා සංඝරත්නය විෂයෙහිලා පිරිකර පූජා කළේය. ඉන් අනතුරුව, සුදු නෙළුම් මල් වලින් සැකසු මල් මලා මහසෙන් දේවාලයට පූජා කිරීමේ විශේෂ පූජාවක් ද එහිදී පැවැත්විණි.

පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ කතරගම ඓතිහාසික පුදබිමේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක්, විහාරාධිපති නාහිමියන් වෙත පූජා කළ අතර එම පරිත්‍යාගය කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් විසින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයින් සහ හේවිසි කණ්ඩායම්වලින් සමන්විත පෙරහැර, කතරගම පූජාභූමිය වෙත පැමිණිමෙන් අනතුරුව එම ධජ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදි. පසුව, අෂ්ඨඵල බෝධින් වහන්සේ අභියසදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් අටපිරිකර ද පූජා කළහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සඳහා එම ධජයන් කතරගම දේවාල මන්ධිරයන්හී තැන්පත් කිරීමෙන් අනතුරුව දේවාලයේ තේවාව ආරම්භ කරන ලදි. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමා විසින් කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු සඳහා ද මුල්‍යමය පරිත්‍යාගයක් බස්නායක නිලමේතුමන් වෙත පිරිනැමීය.

සම්ප්‍රදායානුකූල චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් ප්‍රධාන දේවාලයේ පැවැති විශේෂ මුරුතැන් පූජාවෙන් පසුව මෙම ආශිර්වාද පූජාව සමාප්ත වූ අතර එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එම්.කේ.එස්. සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්වූහ.