Header

Sri Lanka Army

Defender of the Nation

21st September 2022 17:36:16 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ 39 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි පසුගිය සිකුරාදා (17) දින ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගත්තේය.

පුහුණු පාසල් පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන් කාර්යාලය වෙත කැටුව යන ලදී. එහිදී, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයකට ද එක්වූවේය.

ඉන් අනතුරුව, නව සේනාවිධායකතුමන් යුද්ධ හමුදා පුහුණු පාසලේ නිලධාරින් සහ සෙසුනිලයන් අමතමින් එම පුහුණු පාසලේ රාජකාරි කටයුතු වඩාත් කාර්යක්‍ෂමව සිදු කිරීමට සියලුදෙනාගේ සහයෝගය බලාපොරොත්තු වන බව පැවසීය.

නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට පෙර බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි හෙබවූ අතර මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් නජීව එදිරිසිංහ යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ධූරයට පත්කෙරිණි.