20th September 2022 20:00:35 Hours
2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් පුහුණුව ලබමින් සිටින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ තාවුල්වැව ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසල වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සඳුදා (19) දින සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
එම පුහුණු පාසල වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. මෙම සංචාරය අතරතුරදී, තාවුල්වැව බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකතුමන් විසින් එම පුහුණු පාසලේ මේ වනවිට ක්‍රියාත්මක වන බලඇණි පුහුණු පාඨමාලාව පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර දැනුවත් කළේය.
පසුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් පාඨමාලාව හදාරනු ලබන භටපිරිස් අමතමින් පුහුණුවේ සහ විනයේ ඇති වැදගත්කම පිළිබඳ පැහැදිලි කරන ලදී.
ඉන් අනතුරුව, එතුමන් පාඨමාලාව හදාරනු ලබන භටපිරිස්හී පුහුණු කාලසටහන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව ද පාඨමාලා උපදේශකවරුන් සමඟ සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ, 221 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්වූහ.