Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2022 15:45:35 Hours

211 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් ආර්ථික දුෂ්කරතා ඇති සිවිල් වැසියන් සහ ගර්භනී කාන්තාවන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් සුනිල් විජේවර්ධන මහතා ප්‍රමුඛ කඩවත ප්‍රදේශයේ ‘සරණ’ බෞද්ධ පදනම සහ පරිත්‍යාගශීලී ඥානසිරි මහතා ඇතුළු ඔහුගේ ව්‍යාපාරික හිතවතුන්ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මැදවච්චිය, රඹෑව සහ වවුනියාව දකුණ යන ප්‍රදේශවල දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් වියළි සලාක පාර්සල් 350 ක් සහ ගර්භනී කාන්තාවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් 100 ක් පසුගිය සිකුරාදා (9) දින බෙදාදෙනු ලැබූහ.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.පී.ආර්. වීරකෝන් ගේ උපදෙස් මත 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න විසින් ආරම්භ කරන ලද මෙම මානුෂීය මෙහෙවර 211 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ අංශය සහ 2 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

ඒ අනුව, මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා ‘සරණ’ බෞද්ධ පදනම නියෝජනය කරමින් පැමිණ සිටි පරිත්‍යාගශීලීන් සමගින් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී. මලවිආරච්චි මහත්මිය සහ බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න එක්ව රුපියල් මිලියන 3.4 ක පමණ වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රතිලාභීන් අතර බෙදාදෙනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා 211 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ද එක්වූහ.