20th September 2022 13:13:35 Hours
54 වන සේනාංකය යටතේ ස්ථාපිත 541 වන බලසේනා මූලස්ථානයේ 12 වන සංවත්සර දිනය වෙනුවෙන් සැප්තැම්බර් මස 9 දින සිට 10 දින දක්වා වැඩසටහන් කිහිපයක් පැවැත්වීය.
ඒ අනුව, සංවත්සර සැමරුම යෙදි තිබූ සැප්තැම්බර් මස 10 දින එම සැමරුම් උත්සවය වෙනුවෙන් බලසේනා මූලස්ථානය වෙත සපැමිණි 541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. එහිදී, 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිතුමන් විසින් 541 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, එම බලසේනා මූලස්ථානයේ සෙසුනිල භෝජනාගාරයේ පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව සමූහ ඡායාරූප සඳහා එක්වූ බලසේනාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් පසුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. සංවත්සර දිනයට සමගාමීව මන්නාරම පෙරියමඩු සින්න සන්නාර් ප්‍රදේශයේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ රාමසාමි ජේ රන්ජන් ගේ නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු එම බලසේනාවේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබීය. එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුව සිටියදී එම පුද්ගලයාට ඔහුගේ පාද දෙකම අහිමි වී ඇත. සංවත්සර දිනය වෙනුවෙන් එම පුද්ගලයා වෙත කිහිලිකරු යුගල දෙකක් මෙන්ම ඔහුගේ දරුවන් දෙදෙනා වෙත පොත්, බෑග් සහ අනෙකුත් පාසල් උපකරණ ද ප්‍රදානය කෙරිණි.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ සියලු නිලයන් වෙනුවෙන් සංගීත සංදර්ශනයක් ද පැවැත්වීය.