Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2022 13:18:44 Hours

නව උපපන්න නිලධාරින් සිය වෘත්තීන්හී රාජකාරි භාරගැනීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත උණුසුම් අයුරින් පිළිගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත ඉදුරාම වෘත්තීයන් සඳහා බඳවාගනු ලැබූ උපපන්න නිලධාරීන් සිය වෘත්තීන්හී රාජකාරි භාරගැනීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (14) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙත පැමිණි අතර එහිදී, ඔවුන් වෙත උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

එම උපපන්න නිලධාරින් 15 දෙනා උණුසුම් අයුරින් පිළිගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා එම උපපන්න නිලධාරින් අමතමින් වෘත්තීය දැනුම, යුද්ධ හමුදා ආචාරධර්ම, යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකලයුතු කැපවීම, පක්‍ෂපාතිත්වය සහ අවංකභාවය පිළිබඳව සුහදව අදහස් දක්වන ලදී.

කීර්තිමත් සහ ගෞරවනීය හමුදා වෘත්තීයක නියැලීම උදෙසා නිලධාරීන් දහස් ගණනක් බිහිකර ඇති යුද්ධ හමුදාවේ ප්‍රමුඛතම පුහුණු පාසල වන දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මෙම උපපන්න නිලධාරින් වෙත මූලික පුහුණුව ලබා දෙන ලදී.

මෙම පිළිගැනීමේ උත්සව අවස්ථාව අතරතුරදී, යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බඳවාගනු ලැබූ උපපන්න නිලධාරින් තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම සහ යුද්ධ හමුදාව වෙත සම්බන්ධ වීමේ සිට විශ්‍රාම යාම දක්වා සිදුකරනු ලබන පරිපාලනමය කටයුතු පිළිබඳව ද දැනුවත් කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ ඉදිරි දර්ශන සැලසුම් සහ ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රවී හේරත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිළධාරීන් පිරිසක්ද එක්වූහ.