Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2022 19:19:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 15 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද පසුගිය බ්‍රහස්පතින්දා (1) දින පනාගොඩ යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය.

රෙජමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සසංක පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් පසුව එම බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමුවේය. ඉන් අනතුරුව, රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පුදකරන ලදී.

පසුව, මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කල අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

පසුව, මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද විසින් සියලුම නිලයින් ඇමතීමෙන් අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූහ.

මීට පෙර මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් පාලිත හේවාවසම් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද මෙම ධූරයේ රාජකාරි භාරගත්තේය. මීට ප්‍රථම මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද අධ්‍යක්‍ෂ අයවැය හා මුදල් පරිපාලන ලෙස රාජකාරි සිදුකළේය.