Header

Sri Lanka Army

Defender of the Nation

14th September 2022 17:30:18 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර 13 වන ආඥාපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගිය සඳුදා (12) දින දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ ඇතුළු මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, පැවති සුහද සාකච්ඡාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එම රෙජිමේන්තු මූලස්ථානයේ කාර්යභාරය පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර දැනුවත් කළහ.

ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර දොඹගොඩ කර්මාන්ත ශාලාවේ ටයර් නැවත පිරවීමේ ඒකකය ඇතුළු එම කඳවුරේ ප්‍රධාන ස්ථාන කිහිපයක් නිරීක්‍ෂණය කරමින් එහි සේවයේ නියුතු භටපිරිස්හී සුවදුක් විමසා බැලුවේය.

එහිදී, කඳවුර තුළ පවතින සුභසාධන පහසුකම් සහ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල උපදෙස් ලබාදුන්නේය. පසුව, එම කඳවුරු පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකා පුහුණු පාසලේ සංචාරයක නිරත වූ එතුමන් එම පුහුණු පාසලේ ක්‍රියාකාරී අංශයන් නිරීක්‍ෂණය කරමින් භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එම කඳවුරේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

එම සංචාරය අතරතුරදී මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල 61 වන සේනාංකයේ සේනාංකාධිපති, 612 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ඇති ඒකකයන්හි අණදෙන නිලධාරීන් සමඟ එක්ව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ බුලත්සිංහල සහ වාද්දුව ප්‍රදේශයන්හී ස්ථාන කිහිපයක බලඇණි ස්ථාපිත කිරීමට යෝජිත ස්ථාන කිහිපයකද සංචාරය කළේය.

මෙම සංචාරය සඳහා 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්වූහ.