Header

Sri Lanka Army

Defender of the Nation

09th September 2022 13:55:31 Hours

අභාවප්‍රාප්ත මේජර් උෂාන් වීරසිංහ (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 28 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක් වූ ගජබා රෙජිමේන්තුවේ මේජර් උෂාන් වීරසිංහ (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (8) දින පස්වරුවේ නැදිමාල ‘නිසල අරණ’ සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි.

මානුෂීය මෙහෙයුම් සාර්ථකව අවසන් කිරීමට නිර්භීතව සිය දායකත්වය දැක්වූ 1 වන ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් රණවිරුවෙකු වන මේජර් උෂාන් වීරසිංහ (විශ්‍රාමික) මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සිදුකරනු ලැබූ අමිල සේවය පැසසුමට ලක්කරමින් එතුමන් වෙත රණ ශූර පදක්කම සහ දේශපුත්‍ර පදක්කම ඇතුලු තවත් පදක්කම් රැසක් පිරිනමා ඇත.

පැපිලියාන, විහාර මාවතේ පිහිටි මේජර් උෂාන් වීරසිංහ (විශ්‍රාමික) ගේ නිවසින් දේහය රැගෙන යාමට පෙර එතුමන්ගේ නිවසට පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ එතුමන්ගේ දේහයට පුෂ්පෝපහාර පුදකර අවසන් ගෞරව දැක්විය. මේජර් උෂාන් වීරසිංහ (විශ්‍රාමික) ගේ පවුලේ සාමාජිකයින් සමඟින් අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් වන්නි මෙහෙයුමේදී මේජර් උෂාන් වීරසිංහ (විශ්‍රාමික) සිදුකළ කැපවීම සහ රණශූරත්වය පිළිබඳ සිහිපත් කළේය.

දිවංගත මේජර් උෂාන් වීරසිංහ (විශ්‍රාමික) වෛද්‍ය හේතූන් මත සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ අතර එතුමන්ගේ අභාවයට කලකට පෙර සිට ප්‍රතිකාර ලබමින් සිටියේය. දිවංගත මේජර් උෂාන් වීරසිංහ (විශ්‍රාමික) ගේ අවසන් කටයුතු ශෝකයට පත් පිරිස ඉදිරියේ, එතුමන්ගේ සමකාලීනයන් ඇතුළු 1 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පූර්ණ හමුදා ගෞරවාචාර සහිතව සිදුකරන ලදී.