Header

Sri Lanka Army

Defender of the Nation

08th September 2022 14:46:42 Hours

දිවයිනේ ආහාර සුරක්‍ෂිතතා ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් කැරට් වගාව අරඹයි

දිවයින පුරා පුරන් වූ කුඹුරු සහ අතහැර දැමූ රජයේ ඉඩම් අක්කර 1500 කට අධික ප්‍රමාණයක් තුළ වගා කටයුතු ආරම්භ කරමින් දිවයින තුළ ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමතරව කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සංකල්පයකට අනුව මීට සති කිහිපයකට පෙර හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත කමිටුව ස්ථාපිත කරනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකාය වෙතින් වගා සංග්‍රාමය අඛණ්ඩව පවත්වාගෙන යමින් දිවයිනේ ප්‍රදේශ රැසක සියලු වර්ගවල භෝග වර්ග වගා කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර එම කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටිති.

මෙම වැඩසටහනට සමගාමීව, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ගේ උපදෙස් මත එම වැඩසටහනේ පළමු අදියර ලෙස 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය වෙතින් 2022 සැප්තැම්බර් මස 02 දින ඩයගම ප්‍රදේශයේදී අක්කර 2.5 ක භූමි භාගයක කැරට් වගාව ආරම්භ කරන ලදී.

ශීත ඍතුවේ වගාකරනු ලබන එළවලු වර්ගයන් වන කැරට් 15 ° C සිට 20 ° C දක්වා උෂ්ණත්වයක් තුළ වගා කළහොත් ඉතා හොඳ ඵලදාවක් ලබාගත හැකි වේ. කැරට් බෝගය වගා කිරීම සඳහා ලිහිල් ලෝම පස් අවශ්‍ය වන අතර ඵලදායී නිෂ්පාදනයක් සඳහා pH අගය 6.0 සිට 7.0 දක්වා පරාසයක තිබිය යුතුය. මෙම වගා කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය වෙතින් පවරාගෙන ඇති මුළු භූමි ප්‍රමාණය අක්කර 25 ක් වන අතර මෙය ඉදිරියේදී තවදුරටත් වැඩි කිරීමට බලාපොරොත්තු වේ.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්‍ෂ, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එච්වීකේඩබ්ලිව් අබේවික්‍රම, මේජර් ඒඑම් අමරතුංග සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.