Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2022 15:45:56 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් සමන් ලියනගේ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (01) දින පැවැත්විණි.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් මේජර් ජෙනරාල් සමන් ලියනගේ එම රෙජිමේන්තු මූලස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය. ඉන් අනතුරුව, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් පසුව සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

ඉන් අනතුරුව, බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සියලු නිලයන් සමඟින් සුහදව අදහස් හුවමාරුවක නිරත වූ අතර තම වෘත්තීය දිවිය තුළ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය ස්තූතිය පුදකළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.