05th September 2022 18:22:50 Hours
කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන්ගේ බැඩ්මින්ටන් කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ භටපිරිස් කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රධාන පාසල් හතරක සිසු සිසුවියන් වෙත බැඩ්මින්ටන් උපකරණ රැසක් පරිත්‍යාග කරනු ලැබිණි.
එහිදී, 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගලප්පත්ති ගේ ඉල්ලීමකට අනුව එක්සත් ජනපදයේ වෙසෙන ෂාන් ස්කන්ධ කුමාර් මහතා විසින් රුපියල් 50,000/= ක වටිනාකමකින් යුත් බැඩ්මින්ටන් ෂටලයන් සහ බැඩ්මින්ටන් පිති මිලදී ගැනීම සඳහා 571 වන බලසේනාව වෙත සිය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් විසින් සංවිධානය කරන ලද පසුගිය දා නිමාවට පත් වූ කිලිනොච්චි දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරඟාවලියට සහභාගී වූ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන බැඩ්මින්ටන් ක්‍රීඩකයින්ට එම බැඩ්මින්ටන් ෂටලයන් සහ බැඩ්මින්ටන් පිති මිලදී ගැනීමට නොහැකිව ඒ සඳහා යුද්ධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටින ලදී.
ඒ අනුව, පැවති චාම් උත්සවයකදී පාසල් බලධාරින්ගේ සම්බන්ධීකරණය මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් කිලිනොච්චි මහා විද්‍යාලය, කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලය, කිලිනොච්චි හින්දු විද්‍යාලය සහ කිලිනොච්චි ශාන්ත තෙරේසා විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබඳ උනන්දුවක් දක්වන සිසු සිසුවියන් වෙත මෙම බැඩ්මින්ටන් උපකරණ පරිත්‍යාග කරන ලදී.
කිලිනොච්චියේ පිහිටි උතුරු පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවති මෙම උත්සවය සඳහා ප්‍රතිලාභීන්, විදුහල්පතිවරුන්, ක්‍රීඩා භාර ගුරුවරුන්, දෙමාපියන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.