Header

Sri Lanka Army

Defender of the Nation

02nd September 2022 18:19:08 Hours

65 වන සේනාංකයේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මත්ස්‍ය ව්‍යපෘතියක්

ආලංකුලම්හි පිහිටි 65 වන සේනාංක මූලස්ථානය විසින් එම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් අමතර ආදායමක් උපයාදීමේ අරමුණින් කිලිනොච්චිය, ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සහ උතුරු පළාත් සභාවේ මිරිදිය ධීවර ඒකකයේ අනුග්‍රාහකත්වයෙන් වවුනිකුලම්, තෙන්නියන්කුලම් සහ තෙරන්කන්දල් ජලාශවලට මිරිදිය මත්ස්‍ය පැටවුන් 285,000 ක ප්‍රමාණයක් අගෝස්තු මස 29 - 30 දිනවල මුදා හැරීමට පියවර ගන්නා ලදී.

ප්‍රමාණවත් ආදායම් මාර්ගයක් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ප්‍රදේශයේ දිවිගෙවන ධීවර ප්‍රජාව පිලිබඳව 65 වන සේනාංකයේ භටපිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ දැනුවත් කිරීමෙන් පසුව ලබාදුන් උපදෙස් මත ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින් ප්‍රදේශයේ අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් මිරිදිය මත්ස්‍ය පැටවුන් තොගය ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.

10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 17 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහ 65 වන සේනාංක මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයේ සංවිධානයෙන් එම ඒකකයන්හි අණදෙන නිළධාරිවරුන්ගේ සහ ප්‍රදේශයේ අදාල රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත මිරිදිය මත්ස්‍ය පැටවුන් ජලාශ වලට මුදා හැරීමට පියවර ගන්නා ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන්, තුන්නුක්කායි ප්‍රාදේශීය ලේකම් ඒ.ලදුමීරා මහත්මිය , උතුරු පළාත් සභාවේ මිරිදිය ධීවර ඒකකයේ අධ්‍යක්ෂ අභිරාමි බරමුරලි මහත්මිය, උතුරු පළාත් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ කුමාර් සංගීතම් මහතා, නැගෙනහිර මාන්තෙයි සහකාර ප්‍රාදේශීය ලේකම් මරියදාස් මරියුරු මහතා, මල්ලාවි ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ප්‍රකාශ් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් සහභාගි වූහ.