28th August 2022 10:55:03 Hours
යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරය අතරතුර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින්, යාපනය, පුලෝලි ප්‍රදේශයේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස ප්‍රතිලාභීන් වෙත භාරදෙනු ලැබූහ. යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම මත ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකුගේ මූල්‍යමය අනුග්‍රහකත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් එම නිවස ඉදිකරන ලදී.
යාපනය ප්‍රදේශයේ ජීවත්වන පරිත්‍යාගශීලීයෙකු වන විශ් නටරාජා මහතා විසින් යුද්ධ හමුදාව වෙත ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වයෙන් ඉදිකරන ලද මෙම නව නිවස හින්දු ආගමික වතාවත් සහ චාරිත්‍ර මධ්‍යයේ පසුගිය සිකුරාදා (26) දින පැවති උත්සවයකදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නව නිවසේ යතුර ප්‍රතිලාභී පවුලේ සාමාජිකයින් වෙත ප්‍රදානය කරන ලදී. 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම මත කෙටි කාලයක් තුළදී නව නිවස ඉදිකරනු ලැබූහ.
හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දෙදෙනෙකු වන නිවාස ලාභී ස්වාමිපුරුෂයා සහ භාර්යාව යුද්ධය අවසන් අධියර පැවති සමයේදී බරපතල තුවාල ලබා සුවය ලැබීමෙන් පසු පුනරුත්ථාපනය වන ලදී. මේ වනවිට සැමියා කොන්ක්‍රීට් නිෂ්පාදනය කරන ස්ථානයක කම්කරුවෙකු ලෙස රැකියාවේ නිරත වෙමින් සිටී. නිවාස ලාභී පවුල දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටි අතර, එම තත්ත්වය පිළිබඳව දැනුවත් වූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් විසින් නව නිවස ඉදිකිරීම සඳහා අනුග්‍රහක භවතෙකු සම්බන්ධකර ගැනීමෙන් පසු නව නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.
එම අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් නිවාසලාභීන් වන තංගරාසා ධර්මරාණි මහත්මිය, ඇයගේ සැමියා වන කුමාරකුලසිංහම් ප්‍රශාන්තන් මහතා සහ ඔවුන්ගේ පුත්‍රයා විසින් පිළිගනු ලැබූ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේතාත්මකව නව නිවසේ යතුර භාරදෙන ලදී.
අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් නිවාස ලාභී පවුල වෙත මූල්‍යමය පරිත්‍යාගයක්ද පිරිනමමින් ඔවුන්ගේ අනාගත වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට සුබපැතුම් එක් කරන ලදී. එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් ඉතා හොඳින් සමත් වූ දක්‍ෂ සිසුන් තිදෙනෙකු වෙත එක් අයෙකුට මාසිකව රුපියල් 5000.00 බැගින් වූ ශිෂ්‍යත්වයක්ද පිරිනැමීය. එම ශීෂ්‍යත්වයන් ඔවුන් උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් නොකඩවා ලැබෙන අතර, යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණයෙන් දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ආචාර්ය පියසේන ගමගේ මහතා විසින් එම ශිෂ්‍යත්වයන් සඳහා අනුග්‍රාහකත්වය සපයයි.
තවද, එම උත්සව අවස්ථාවේදීම තවත් පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ සහ ගැබිණි මව්වරුන් සඳහා වියළි සලාක පාර්සල්ද යුද්ධ හමුදා අනුග්‍රාහකත්වය මත ප්‍රදානය කෙරිණි. එම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනයද එක් වූහ.