26th August 2022 15:06:58 Hours
රට දැය වෙනුවෙන් රණවිරුවන් කළ පරිත්‍යාගශීලී අභීත කැපකිරීම් පිළිබඳ ජාතියේ නොමැකෙන මතකය යලි අවදිකරමින් ‘ආර්ය පදනම’ මගින් පවත්වනු ලබන ‘උදාරයි ඔබ’ වැඩසටහන රණක්‍ෂිතයට පත් රණවිරුවන්, දිවිපුදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි පසුගිය බ්‍රහස්පතින්දා (18) දින පවත්වන ලදී. මෙම වැඩසටහන 1 වන ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
යුද්ධයේදී කාය දානය සහ ජීව දානය දුන් හමුදා සාමාජිකයන්ගේ සහ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ආරම්භ කරන ලද මෙම වැඩසටහන සඳහා හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් වන ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ (විශ්‍රාමික) සහ ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික), මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ (විශ්‍රාමික), අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න, අධ්‍යක්ෂ මනෝවිද්‍යා මෙහෙයුම් බ්‍රිගේඩියර් ටී.එන් මජිඩ්, මහාචාර්ය රාජ් සෝමදේව, ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ, ආචාර්ය සමාදි රාජපක්‍ෂ, ආචාර්ය ලලිත් බණ්ඩාර, චරිත් කිරිඇල්ල, පුෂ්පා රම්‍යණි සොයිසා මෙනවිය, ශමේන්ද්‍ර වික්‍රමාරච්චි මහතා, සංගීතඥය ජගත් වික්‍රමසිංහ, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් රවීන්ද්‍ර මීගමාරච්චි ගේ සම්බන්ධීකරණයෙන් ආර්ය පදනමේ සමීප සහයෝගයෙන් යුතුව පවත්වන මෙම වැඩසටහන මගින් ඊට සහභාගී වූ සියලුම දෙනාගේ මානසික යහපැවැත්ම, ධනාත්මක චින්තනය වර්ධනය කිරීම අපේක්‍ෂා කරයි.