21st August 2022 12:07:53 Hours
යුද, නාවික සහ ගුවන් හමුදාවේ විශ්‍රාමික ප්‍රවීණයන් තිදෙනෙකු අද (19) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවී එම නිලධාරීන් තිදෙනා විසින් සම්පාදනය කරන ලද “Volunteers from Ceylon WWs 1 & 2” යන ග්‍රන්ථයේ පිටපතක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.
මෙම සුහද හමුවේදී බ්‍රිගේඩියර් හිරාන් හලංගොඩ (විශ්‍රාමික), ගෲප් කපිතාන් කුමාර කිරින්දේ (විශ්‍රාමික) සහ ප්‍රධාන සුළු නිලධාරී ක්වින්ටස් ඇන්ඩ්‍රේඩ් (විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පළමු ලෝක යුද්ධයේදී සහ දෙවන ලෝක යුද්ධයේදී ලංකා යුද්ධ හමුදාව ඉටුකරනු ලැබු කාර්යභාර්ය අලලා රචිත මෙම ග්‍රන්ථය අනාගතයේදී මූලාශ්‍ර කෘතියක් ලෙස වැදගත් වන බව හමුදාධිපතිතුමන්වෙත කරුණු පැහැදිලි කළේය.
තවද එම අවස්ථාවේදී, ගැමුණු හේවා බළකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් හිරාන් හලංගොඩ (විශ්‍රාමික) විසින් යුද්ධ හමුදා රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනයට දැඩි සත්කාර ඒකක සඳහා ඇඳන් සහ මෙට්ට 114 ක් ලබාදීමට සූදානම් බවත් එය දිවයින පුරා පිහිටි සියලුම යුද්ධ හමුදා රෝහල් අතර බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරදෙන ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම සුහද හමුව සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදත්වය සංකේතවත් කරමින් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් අගය කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කළේය.