21st August 2022 11:45:45 Hours
ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක කපිතාන් යුකි යොකොහාරි මහතා (Captain Yuuki Yokohari) සිකුරාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවී සුහඳ සාකච්ඡාවක නිරතවූහ.
යුද්ධ හමුදාධිපති සහ ජපාන තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක අතර පැවැති මෙම හමුවේදී, දෙරට අතර පවතින අන්තර්කාළීන සබඳතා, ත්‍රිවිධ හමුදාවන් අතර පවතින සුහදතාවය මෙන්ම සහයෝගීතාවය සහ අවබෝධය යන කරුණු පිළිබඳ සාකච්ඡා කළේය.
තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා ක්‍රියාත්මක කර ඇති පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව මෙන්ම දෙරටේ සන්නද්ධ හමුදාව විවිධ හුවමාරු සහ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී කරවීම පිළිබඳව තවදුරටත් සාකච්ඡාවට බදුන් විය.
සුහඳ හමුව අවසානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදත්වය සංකේතවත් කරමින් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ලේකම් කඕරි ඉමායි (Kaori Imai) මහත්මිය සහ සහකාර යුද සේවා ලේකම් බ්‍රිගේඩියර් බුද්දික පෙරේරා ද සහභාගී වූහ.