Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2022 16:06:52 Hours

භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 8 ශිෂ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයක

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසල මඟින් පවත්වනු ලබන භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 8 හදාරන ශිෂ්‍ය නිලධාරින් පිරිසක් එම පාඨමාලාවේ මාණ්ඩලික භඨකාර්ය සම්පාදන (LSC) විෂය මාලාවේ කොටසක් ලෙස පසුගිය බදාදා (10) දින ත්‍රිකුණාමලය, චීනවරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ (AFA) ක්‍ෂේත්‍ර සංචාරයක නිරත විය.

ප්‍රසම්පාදන කටයුතු, ද්‍රව්‍ය සැපයුම් ක්‍රියාවලිය, ගබඩා කළමනාකරණය සහ නිකුත් කිරීමේ ක්‍රියා පිළිවෙත ආදී කරුණූ පිළිබඳ භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 8 හදාරන ශිෂ්‍ය නිලධාරින් සතු දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ක්ෂේත්‍ර සංචාරය සිදුකරනු ලැබූ අතර ඒ සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.එම්. ප්‍රනාන්දු, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකයන්, උපදේශක නිලධාරි මණ්ඩලය සහ භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 8 හදාරන ශිෂ්‍ය නිලධාරින් එක්වූහ.

ත්‍රිකුණාමලය, චීනවරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ඩී.එම්.එස්.බී දසනායක විසින් භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 8 හි ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. එහිදී, ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ, කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ ආයතනික සහ මෙහෙයුම් කටයුතු, පියාසර පුහුණු අංශයේ කාර්යභාරය සහ ගුවන් හමුදා භඨකාර්ය සම්පාදන කළමනාකරණ පද්ධතිය පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් සංචාරයේ නියුතු ශිෂ්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදී.

ඉන් අනතුරුව, එම විද්‍යාපීඨයේ පියාසර පුහුණු අංශය, උපකරණ අංශය, ඉන්ධන අංශය සහ ගුවන් භටයන්ගේ භෝජනාගාරය ද නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාව සංචාරයේ නියුතු ශිෂ්‍ය නිලධාරීන්ට හිමි විය.

එම ක්‍ෂේත්‍ර සංචාරයේ නිරත වූ ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසට ගුවන් හමුදා විද්‍යාපීඨයේදී දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. ක්‍ෂේත්‍ර සංචාරය සමාප්තියේ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක විසින් ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිලධාරී වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.