Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2022 21:00:48 Hours

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගජබා රෙජිමේන්තුවේ ගෞරවාචාර

ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස විශ්‍රාම දිවියට පා තබන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ හිටපු නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ෂේන් ගුණවර්ධන වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (01) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ අතර එම රෙජිමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වූ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ. ඉන් අනතුරුව, එම රෙජිමේන්තු භටපිරිස් විසින් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකරමින් සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

උත්සවය සමාප්තියේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය මෙම අවස්ථාවට විශේෂත්වයක් එක්කරන ලදී.

එම අවස්ථාවට එක් වූ යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සිය සුබපැතුම් එක්කළේය.

මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සියලුම මාණ්ඩලික නිලධාරීන් ද එක්වූහ.