Header

Sri Lanka Army

Defender of the Nation

05th August 2022 20:07:53 Hours

12 වන සේනාංකයේ මූලිකත්වයෙන් හම්බන්තොට රජයේ රෝහලට වෛද්‍ය ආධාර පරිත්‍යාගයක්

12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ලබාදුන් රුපියල් 2,14,000/= ක වටිනාකමකින් යුත් වෛද්‍ය ආධාර සහ ඖෂධ තොගයක් (Meropenem සහ ceftriaxone) යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් පසුගිය සඳුදා (01) දින හම්බන්තොට රජයේ රෝහල වෙත පරිත්‍යාග කරන ලදී.

ඒ අනුව, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල නියෝජනය කරමින් සහභාගී වූ එම සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි විසින් සංකේතාත්මකව මෙම වෛද්‍ය ආධාර සහ ඖෂධ තොගය හම්බන්තොට රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුරංග උබේසේකර වෙත භාරදෙන ලදී.

‘Meropenem’ යනු අභ්‍යන්තර උදර ආසාදන, නියුමෝනියාව, ලේ විෂවීම, සතුන් මඟින් වැළඳෙන රෝග වැනි විවිධ බැක්ටීරියා ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන අභ්‍යන්තර එන්නත්කරණ ප්‍රතිජීවකයකි.

12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ඉල්ලීම පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීය පරිත්‍යාගශීලීන් වෙත සිදුකරනු ලැබූ කෙටි දැනුම්දීමකින් මෙම පරිත්‍යාගය සිදුකිරීමට ඔවුන් ඉදිරිපත් වූහ. හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමේ අරමුණින් මෙම වෛද්‍ය පහසුකම් කඩිනමින් රෝහල වෙත සම්පාදනය කිරීමට එමඟින් අවස්ථාව සැලසිණි.

මෙම වෛද්‍ය පහසුකම් පරිත්‍යාග කිරීමේ අවස්ථාව සඳහා 12 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියා) සහ හම්බන්තොට රෝහලේ පරිපාලන නිලධාරීන් පිරිසක්ද එක්වූහ.