Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2022 22:45:40 Hours

‘සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක -9’ සාර්ථකව අවසන්

නයාරු පිහිටි විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ පසුගිය ඉරිදා (31) දින පැවති චාම් උත්සවයකදී විශේෂ බළකා ‘සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක -9’ හි සහතිකපත්‍ ප්‍රදානය කෙරිණි.

මෙම පාඨමාලාව තුලින් ජලයේ සිදුකරනු ලබන මෙහෙයුම්වල න්‍යායික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් දැනුමක් මෙන්ම කිමිදුම් සහ සංග්‍රාමික කිමිදුම් කුසලතා ප්‍රවර්ධනය කරන අතර දිය යට පිහිනීම සඳහා අත්‍යවශ්‍ය වන උපායශීලී හැකියාවන් සහ ‘ස්කූබා කිමිදුම්’ ශිල්පීය ක්‍රම පිළිබඳව ද පුළුල් දැනුමක් මෙහිදී පාඨමාලාව හදාරනු ලබන හමුදා සාමාජිකයන් වෙත ලබා දේ.

මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පාඨමාලාව සාර්ථකව පැවැත්වීම පිළිබඳව සිය ප්‍රසංශාව පළකළේය.

එම අවස්ථාවේදී සංග්‍රාමික කිමිදුම් පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් වෙත සම්මාන ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි. විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසල වර්ෂ 2015 ජනවාරි මස ආරම්භ කිරීමෙන් පසු ත්‍රිවිධ හමුදා කිමිදුම්කරුවන් සහ පිහිනුම් ක්‍රීඩකයින් 280 කට අධික සංඛ්‍යාවක් සාර්ථකව පුහුණු කර ඇත.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ බලපන්ති ලුතිනන් එස්.එස්.කේ.එස්.එන්.බී. රත්නායක හිමිකර ගත්හ.

මෙම සහතික ප්‍රදානෝත්සවය සඳහා 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දිමාල් පීරිස්, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කාංචන වීරසේකර විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රන්දුණු ප්‍රසාද්, එම රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින් සහ තවත් හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.