Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2022 22:49:58 Hours

211 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් අවශ්‍යතා සහිත පවුලකට නව නිවසක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය හා පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදුන් මුල්‍ය අනුග්‍රාහකත්වය මත තවත් ප්‍රජා මූලික ව්‍යපෘතියක් ලෙස මැදවච්චිය, කුඩාවැව ප්‍රදේශයේ පදිංචි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ තවත් නව නිවසක් පසුගිය බදාදා (27) දින නිවාසලාභීන් වෙත භාරදෙන ලදී.

211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ගේ ඉල්ලීමකට අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රංජනී සෙනෙවිරත්න මහත්මිය සහ ඉංජිනේරුවෙකු හා ව්‍යාපාරිකයෙකු වන තිලක් අලහකෝන් මහතා විසින් ලබාදුන් රුපියල් මිලියන 1.5 ක මූල්‍ය අනුග්‍රාහකත්වය මත මෙම නව නිවස ඉදිකරන ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ 21 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් හා අධීක්‍ෂණය මත නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටි ඉන්ද්‍රානි සෝමලතා මහත්මිය සහ එතුමියගේ දරුවන් දෙදෙනා පිළිබඳව 211 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව පරිත්‍යාගශීලීන් සමඟ සාකච්ඡා කර නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. 211 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හී තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය යොදාගනිමින් සති කිහිපයක් තුළ මෙම නව නිවස ඉදිකළහ.

නව නිවස විවෘත කිරීමේ උත්සවයේදී 211 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සුරතින් නිවාසලාභී එච්.ඒ. ඉන්ද්‍රානි සෝමලතා මහත්මිය සහ ඇයගේ දරුවන් දෙදෙනා වෙත නව නිවසේ යතුරු භාරදුන් අතර, එම අවස්ථාව සඳහා නිවාසලාභී පවුලේ ඥාතීන්, පරිත්‍යාගශීලීන්, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නව නිවස සඳහා අවශ්‍ය ගෘහභාණ්ඩ කිහිපයක් ද ප්‍රදානය කරන ලදී.