Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2022 15:26:48 Hours

සුවිශේෂී හැකියාවන්ගෙන් පිරී තවත් කමාන්ඩෝ භටයින් පිරිසක් ‘මෙරූන් හිස්වැසුම’ පැළඳ විසිරයයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂිත ක්‍රියාන්විත රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් පුහුණු පාඨමාලා අංක 49 - ඒ, 49 - බී සහ 49 - සී යටතේ මනා පුහුණුවක් ලැබු කමාන්ඩෝ නිලධාරීන් 07 දෙනෙකු සහ කමාන්ඩෝ භටයින් 256 දෙනෙකු කමාන්ඩෝ නිල ලාංඡන සහ ‘මෙරූන් හිස්වැසුම්’ පැළඳ විසිරයාමේ උත්සවය පසුගිය සෙනසුරාදා (30) දින කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි 1 වන බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් සහභාගී වූහ.

පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සිසුවා ලෙස කපිතන් එම්.එස්.පී රොද්‍රිගු විසින් ඩැගරය (Dagger) හිමිකර ගත්හ. දක්ෂතම වෙඩික්කරු ලෙස සාමාන්‍ය සෙබල ටී.එච්.කේ.යූ සම්පත් තෙරී පත් වූ අතර, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා ලෙස සාමාන්‍ය සෙබල කේ.පී.ඩී.ආර් නිර්මාල් සම්මානය හිමිකර ගත්හ.

විසිරයාමේ උත්සවය අවසානයේදි සරඹ සංදර්ශන, තූර්ය වාදක සංදර්ශන, කඹ භාවිතයෙන් උස් ගොඩනැගිල්ලක් වෙත ලගා වීමේ සංදර්ශන, කමාන්ඩෝ භටයින්ගේ සැබෑ ආත්ම ආරක්‍ෂක සටන් ක්‍රම යනාදී අංග රැසක් ඉදිරිපත් කරමින් එම අවස්ථාවට සහභාගී වූ විසිරයන ලද කමාන්ඩෝ භටයන්ගේ දෙමාපියන් සහ ඥාතීන් විනෝදාස්වාදයට පත් කළහ.

එහිදී මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් විසිර යනු ලැබූ කමාන්ඩෝ භටයින් අමතමින් ඔවුන්ට සුභ පැතුම් පිරිනැමූ අතර, මනා කැපවීමෙන් හා ඉහළ විනයකින් යුතු කමාන්ඩෝ භටයෙකු වීමේ වැදගත්කම පිළිබඳවද විස්තර කළේය.

මෙම විසිර යාමේ උත්සවය සඳහා කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.කේ ධර්මවර්ධන, බ්‍රිගේඩියර් කේ.එම්.එච්.එස් වික්‍රමරත්න, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ කාර්යයේ නියුතු සේනාවිධායක ලුතිනන් කර්නල් ඩී.එම්.එස්.බී දිසානායක,ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන්, සෙසුුනිලයින් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.