30th July 2022 20:23:04 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 91 සහ 91 බී කණ්ඩායම් යටතේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් 137 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන්ගේ පුහුණු පාඨමාලාවේ එක් කොටසක් ලෙස පසුගිය සඳුදා (25) දින දඹුලුහල්මිල්ලෑව පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සහ 27-28 දෙදින තුළ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයෙහි ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත වූහ.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ අබේසිංහ විසින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි ක්‍ෂේත්‍ර චාරිකාවේ නිරත කෙඩෙට් නිලධාරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තුව පිළිබඳව හැදින්වීමක් ඉදිරිපත් කරන ලදී. අනතුරුව යුද්ධයේදී දිවි පිදූ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකරන ලද රණවිරු ස්මාරකය අසලදී ඒ පිළිබඳවද පැහිදිලි කිරීමක් සිදුකරන ලද අතර, ඉන්පසුව කඳවුරු පරිශ්‍රයේදී ICV සහ APC යන සන්නද්ධ රථ යොදාගනිමින් පාබල හමුදා ඛණ්ඩයන් සතුරන්ගේ සැඟවුණු ඉලක්කයන් වෙත ප්‍රහාර එල්ල කරන ආකාරය දැක්වෙන නිරූපණයන් ද ඔවුන් වෙත ඉදිරිපත් කරන ලදී.
එහිදී, කෙඩෙට් නිලධාරි පිරිස විසින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරී නිවස්නයේදී එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගන්නා ලද අතර, එම පිරිස ක්‍ෂේත්‍ර චාරිකාව අවසානයේ පිටත්ව යාමට පෙර මධ්‍යස්ථාන සේනාවිධායක වෙත කෘතවේදීත්වය පලකරමින් සමරු තිළිණයක්ද පිරිනමන ලදී.
අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතද ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත වූ කෙඩෙට් නිලධාරීන් පිරිස එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර වෙනුවෙන්, ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ශෂික පෙරේරා විසින් පිළිගන්නා ලදී.
එම ක්‍ෂේත්‍ර චාරිකාවෙහි නිරත වූ කෙඩෙට් නිලධාරීන් පිරිස අතර සැම්බියාව සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් විදේශීය කෙඩෙට් නිලධාරීන් 03 ගෙන් සහ දේශීය කෙඩෙට් නිලධාරීන් 134 ගෙන් සමන්විත වූහ. එහිදී ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් කේ.ඒ පුෂ්පකුමාර විසින් යාපනය අර්ධද්වීපය පිළිබදවත්, ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය ආරම්භය සහ එහි වර්ධනය, එහි කාර්යභාරය සහ වගකීම පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් ඔවුන් වෙත කරන ලදී. අනතුරුව සිවිල් - හමුදා සහයෝගීතා වැඩසටහන් සහ යුද්ධ හමුදා විසින් සිවිල් ජනතාවට සිදුකරනු ලබන ප්‍රජා මූලික කටයුතු පිළිබඳවත් කෙටි ඉදිරිපත් කිරීමක් කරන ලදී.
ක්‍ෂේත්‍ර චාරිකාව අතරතුර කෙඩෙට් නිලධාරීන් පිරිස යාපනය කොටුව, යාපනය පුස්තකාලය, සංගුපිඩ්ඩි පාලම, අලිමංකඩ රණවිරු ස්මාරකය, මනල්කාඩු වැලි කදු, ශ්‍රී ලංකාවේ උතුරු කෙලවරෙහි පිහිටි පේදුරු තුඩුව, වල්ලිපුරම් කෝවිල, දඹකොළ පටුන, පොන්නලේ සහ කීරමලෙයි පොකුණ යන ස්ථානවල සංචාරය කරන ලදී. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයෙහි සිදුකරන ලද ක්‍ෂේත්‍ර චාරිකාව අවසානයේ එම කෙඩෙට් නිලධාරීන් විසින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින්ද කැඩෙට් නිලධාරීන්ගේ ක්‍ෂේත්‍ර චාරිකාව සංකේතවත් කිරීම සඳහා විදෙස් රටවල් නියෝජනය කරමින් පැමිණ සිටි විදේශීය කෙඩෙට් නිලධාරීන් ඇතුළු කෙඩෙඩ් නිලධාරින් වෙතද සමරු තිළිණ ප්‍රදානයන් සිදු කරනු ලැබූහ.