Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2022 20:26:37 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ විහාරස්ථාන වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර රාජකාරියෙහි නියුතු භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් ගම්පහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු විසින් පිරිනමන ලද මූල්‍යමය ආධාර මත වියළි සලාක පාර්සල් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පසුගිය අඟහරුවාදා (26) දින දිඹුලාගල, කල්කුඩා, කඩවත්මඩුව සහ වැලිකන්ද යන ප්‍රදේශවල විහාරස්ථාන වෙත බෙදා දෙනු ලැබූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් හි සම්බන්ධීකරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කරන ලද ‘ශාසනාලෝක’ වැඩසටහනේ තවත් එක් අදියරක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී

මෙම වැඩසටහනේ පලමු අධියර වශයෙන් 233 බලසේනාවේ භටපිරිස් විසින් දිඹුලාගල විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා වෙත රුපියල් 90,000.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල්ද කල්කුඩා සිරි සීලාලංකාර පිරිවෙනේ වැඩ සිටින නේවාසික භික්ෂූන් වහන්සේලා වෙත රුපියල් 45,000.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල්ද පූජා කරන ලදී.

තවද, රුපියල් 25,000.00 ක සහ රුපියල් 30,000.00 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් කඩවත්මඩුව, කඩවත්මඩුව විහාරස්ථානයේ සහ වැලිකන්ද විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා වෙතද වෙන් වෙන් වශයෙන් පූජා කරන ලද අතර, මෙම වියළි සලාක පාර්සල් බෙදා දීමේ අවස්ථාව සඳහා මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට අදාළ විහාරස්ථානයන්හි විහාරාධිපති ස්වාමීන්වහන්සේලා, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් කපිල චක්‍රවර්ති, ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් රජීව් ප්‍රනාන්දු, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රසාද් ලොකුබාලසූරිය, සමන් ගුණරත්න, ආසිරි විජේවර්ධන යන මහත්වරුන් සහ ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.