21st July 2022 19:53:41 Hours
කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ මූලස්ථාන ගොඩනැගිල්ලෙහි නව පිවිසුම් දොරටවු අද (21) දින උදෑසන පැවති චාම් උත්සවයකදී විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධාක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ආරාධනාවට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී වු අතර, ආගමික වතාවත් සහ ආශිර්වාද මධ්‍යයේ එතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා ප්‍රධාන ගේට්ටුව විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන්, ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී මේජර් ජෙනරල් මහින්ද ජයවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිලධාරින් පිරිසක් ද එක්වූහ.
මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු නර්තන ශිල්පීන්ගෙන් සමන්විත චාම් පෙරහැරකින් උත්සව අවස්ථාවට කැටුව යාමෙන් අනතුරුව එතුමන් විසින් මෙම නව ඉදිකිරීම පිළිබද සිය සුබපැතුම් එක්කළේය.
එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ භඨපිරිස් සහ 10 වන ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් විසින් තම තාක්‍ෂණීක දැනුම භාවිතා කරමින් මෙම නව පිවිසුම් දොරටුව ඉදිකර තිබීම පිළිබඳව ද එතුමන් පැසසුමට ලක්කළේය.
ඉන් අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන ගොඩනැගිල්ලේ සංචාරයක නිරත වූ අතර එම පරිශ්‍රයේ සිදුකරනු ලබන ඉදිරි කටයුතු පිළිබඳව ද කරුණු සාකච්ඡා කළේය.
එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබුවේය.
මීට වසර කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ඇතිවූ පිපිරීමක් සිදුවීම හේතුවෙන් එම මූලස්ථානය භඨකාර්ය සම්පාදන මූලස්ථාන පරිශ්‍රය වෙත රැගෙන යාමට සිදුවිය. පසුගිය වසර දෙක තුළ යුද්ධ හමුදා භටපිරිස්හී කැපවීම මත පෙර තිබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වී ඇති අතර එහි රාජකාරි කටයුතු නුදුරේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.