Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2022 18:00:16 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් අනිල් සමරසිරි වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් පසුගිය ඉරිදා (10) දින ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් අනිල් සමරසිරි වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් අනිල් සමරසිරි විසින් කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.

පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් අනිල් සමරසිරි එම රෙජිමේන්තුවේ සියලුම නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයක් සඳහා ද එක්විය.

ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ සියලු නිලයන් අමතමින් මේජර් ජෙනරල් අනිල් සමරසිරි දශක තුනකට අධික හමුදා දිවිය තුළ මතකයන් සහ අත්දැකීම් පිළිබඳ ආවර්ජනය කළ අතර, කමාන්ඩෝ රෙජිමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් වෙත සිය සුබපැතුම් එක්කළේය.

පසුව, මේජර් ජෙනරල් අනිල් සමරසිරි රට වෙනුවෙන් සිදුකළ කීර්තිමත් සේවය අගයමින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ඇතුලු සියලු නිලයන් නියෝජනය කරමින් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම උත්සවය අතරතුරදී, මේජර් ජෙනරල් අනිල් සමරසිරි සිය හමුදා දිවියේ ලද ජයග්‍රහණ වෙනුවෙන් එතුමන් වෙත සහයෝගය දැක්වූ සියලු නිලධාරින් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ අතර මෙම උපහාර උත්සවය සමාප්තියේ එම රෙජිමේන්තුවේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

උත්සවය සමාප්තියේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් ඇතුළු හමුදා සාමාජිකයන් විසින් ප්‍රධාන දොරටුව දක්වා ඇති මාර්ගය දෙපස සිට මේජර් ජෙනරල් අනිල් සමරසිරි වෙත සිය ගෞරවාචාර පුදකළහ. මෙම අවස්ථාව සඳහා කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කමල් ධර්මවර්ධන, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සමාජිකයින් සහ නිලධාරින් ද සහභාගී වූහ.