08th July 2022 15:10:52 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් පසුගිය බදාදා (6) දින ‘මාධ්‍ය සහ යුද්ධ හමුදාව’ යන මැයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී. මෙහිදී, කාලෝචිතව යුද්ධ හමුදාව විසින් ජනමාධ්‍ය භාවිතය සහ එහි බලපෑම ආදී විශේෂ කරුණු කීපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මාධ්‍ය භාවිතය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලදී.
මෙම දේශනයේදී, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න විසින් මාධ්‍යයේ ධනාත්මක සහ ඍණාත්මක පැතිකඩයන්, සමාජය කෙරෙහි භටපිරිස්හී වගකීම්, යුද්ධ හමුදාව පිළිබඳ පොදුජන ප්‍රසාදය දිනාගැනීම සඳහා මාධ්‍ය භාවිතා කළයුතු ආකාරය, ජනමාධ්‍ය සහ යුද්ධ හමුදා සබඳතා, සමාජ මාධ්‍ය ආචාරධර්ම, සමාජ මාධ්‍ය භාවිතයේ අහිතකර බලපෑම් සහ මහජන සබදතාවයන් පවත්වාගැනීම සඳහා මාධ්‍යයේ බලපෑම වැනි කරුණු රැසක් පිළිබඳ පැහැදිලි කරන ලදී.
විශේෂයෙන්ම, වර්ථමානයේ පවතින තීරණාත්මක සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ අරමුණින් සාවද්‍ය තොරතුරුවලට ගොදුරු නොවී සිටීමේ වැදගත්කම සහ ජනමාධ්‍ය නිසි අයුරින් කළමනාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව යටතේ ස්ථාපිත සියලුම යුද්ධ හමුදා අංශ ආයතනයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු 175 කට අධික යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ. දේශනය අවසානයේ දී, සාකච්ඡාවට බදුන් වූ තේමාවන් පිළිබඳව වැඩිදුර කරුණු පැහැදිලි කරගැනීම සඳහා ප්‍රශ්ණ - උත්තර සැසියක්ද පැවැත්විණි.