Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2022 16:10:52 Hours

නිට්ටඹුව ප්‍රදේශයේ අවතැන්ව සිටි මව සහ දරුවෙකු ගාල්ල ප්‍රදේශයේ වෙසෙන සිය ඥාතියෙකුගේ නිවසක් වෙත රැගෙන යාමට යුද්ධ හමුදාව වෙතින් පහසුකම් සැපයේ

කුලී නිවසක පදිංචිව සිටි මවක් සහ ඇයගේ ආබාධිත දරුවෙකු නිවෙස් හිමිකරු විසින් එම කුලී නිවසින් ඉවත් කිරීම හේතුවෙන් ඔවුන් නිට්ටඹුව ප්‍රදේශයේ අවතැන්ව සිටි අතර ඒ පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 6 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ගේ මැදිහත්වීමෙන් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත ඔවුන්ට ආරක්‍ෂිත ස්ථානයක් වෙත යාමට අවැසි පහසුකම් සලසා දීමට භටපිරිස් විසින් කටයුතු කරනු ලැබීය.

අපහසුතාවයට පත් මව සහ දරුවා ඉන්ධන හා ප්‍රවාහන පහසුකම් නොමැතිව ගාල්ල ප්‍රදේශය බලා යාමට නොහැකිව නිට්ටඹුව පොදු ක්‍රීඩාංගණයේ දින ගණනක් පුරාවට සිය බඩු බාහිරාදිය සමඟින් රැඳිසිටි බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව 6 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ.එච්.එම්.ටී. ගුණරත්න ප්‍රමුඛ යුද්ධ හමුදා භටපිරිස් එම ක්‍රීඩාංගණය වෙත පැමිණ ඔවුන් සතු ගැටලුව පිළිබඳ සොයාබැලීමෙන් පසුව ඔවුන් ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබිණි.

එහිදී, නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සභාපති සහ Nihal Fashion (Pvt) Ltd සමාගමේ හිමිකරු වන නිහාල් මහතා විසින් එම මව සහ දරුවා ගාල්ල ප්‍රදේශය වෙත රැගෙන යාම සඳහා පසුගිය බදාදා (06) දින වාහනයක් ලබාදීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.

ඒ අනුව, යුද්ධ හමුදා සම්බන්ධීකරණය මත පසුගිය බදාදා (6) දින සන්ධ්‍යාව වනවිට එම මව සහ දරුවා සිය ඥාතියෙකු වෙසෙන ගාල්ල ප්‍රදේශයේ නිවසක් වෙත ආරක්‍ෂිතව රැගෙන යාමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට නිට්ටඹුව ඉන්ධන පිරවුම්හලේ බලධාරින් එකඟ විය.

මෙම මව සහ දරුවා කුලී නිවසක් තුළ ජීවත් වෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරමින් සිටි අතර මාස ගණනාවක් පුරාවට කුලී නිවසේ මාසික කුලිය නොගෙවීම හේතුවෙන් ඔවුන් එම නිවෙසන් ඉවත් කිරීමට කුලී නිවෙස් හිමියාට සිදු වූ බව අනාවරණය විය.