16th June 2022 10:05:43 Hours
යුද්ධ හමුදාව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව පූජ්‍ය තලගල ශ්‍රී සුමනරතන හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම’ වෙතින් මඩකලපුව ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම්ලාභී පවුල් වෙත පසුගිය බදාදා (1) දින මඩකලපුව ශ්‍රී මංගලාරාමය සහ සුනේත්‍රාරාම යන විහාරස්ථානයන්හිදී එකක වටිනාකම රුපියල් 1500.00 කින් යුත් වියළි සලාක පාර්සල් 500 ක් බෙදාදෙන ලදී.
231 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ ගැමුණුපුර සහ කච්චික්කුඩි ප්‍රදේශයන්හී ග්‍රාමසේවා වසම්වල ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගය ඇතිව ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ප්‍රතිලාභී පවුල් තොරාගනු ලැබීය.
මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 213 වන බලසේනාවේ බලසේනාධිපති, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මේ අතර, පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් පසුගිය අඟහරුවාදා (14) දින පැවති උත්සවයකදී, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ උපදෙස් හා මඟපෙන්වීම මත එම බලසේනාව යටතේ ස්ථාපිත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රුපියල් 5000.00 ක් පමණ වටිනා කමකින් යුත් වියළි සලාක පාර්සල් 80 ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ සින්නවත්ත ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් වෙත ප්‍රදානය කරන ලදී.
දැනට බහරේන්හි පදිංචි සුරංග පුෂ්පකුමාර මහතා ඇතුළු ශ්‍රී ලාංකික දානපතියන් පිරිසකගේ අනුග්‍රාහකත්වය මත මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් මංජුල ධර්මවර්ධන, එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.