Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2022 20:48:16 Hours

ධූරයෙන් නික්ම යන සේනාවිධායක වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 48 වන සේනාවිධායක වශයෙන් රාජකාරි හොඹවා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා නික්ම යනු ලබන මේජර් ජෙනරල් චන්න වීරසූරිය වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (13) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය පුහුණු පරීක්‍ෂක බ්‍රිගේඩියර් තුසිත සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, දේශාභිමානී ගී තනු වාදනයන් මධ්‍යයේ පුදකරනු ලබන සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ෂේන් ගුණවර්ධන විසින් නික්ම යන සේනාවිධායකතුමන් සරඹ භූමිය වෙත කැටුව යනු ලැබීය.

පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අභිමානවත් වූ ඉතිහාසයේ නොමැකෙන පරිච්ඡේදයක් සනිටුහන් කරමින් යුද්ධ හමුදා සම්ප්‍රදායානූකුලව මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ ඡායාරූපයක් නිරාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා සිදුකරන ලද ප්‍රශංසනීය සේවය සනිටුහන් කරමින් එම මූලස්ථාන කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද නික්ම යන සේනාවිධායකතුමන් එක්විය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ නික්ම යන සේනාවිධායකතුමන් සිය ධූර කාලය තුළ රාජකාරි ඉටුකිරීමේදී එම බලසේනාවේ සියලුම සාමාජිකයින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේදී පැවති සියලු නිල තේ සංග්‍රහයකට එක්වූ නික්ම යන සේනාවිධායකතුමන්ගේ සේවය අගයමින් එතුමන් වෙත සමරු තිළිණ ප්‍රදානයක් ද සිදුකරන ලදී.

අනතුරුව, මූලස්ථාන පරිශ්‍රයේ සිට ප්‍රධාන දොරටුව දක්වා ඇති මාර්ගය දෙපස පෙළසැදී සිටි නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් නික්ම යනු ලැබූ මේජර් ජෙනරල් චන්න වීරසූරිය වෙත සිය සුබපැතුම් එක්කරන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් වෙනුවෙන් හමුදා චාරිත්‍රානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

මේජර් ජෙනරල් චන්න වීරසූරිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වශයෙන් එම මූලස්ථානය වෙත සිදුකරනු ලැබූ සේවය ඇගයීමට ලක්කරමින් එහිදී සමරු තිළිණයක් ද පිරිනමනු ලදී.

නික්මයැමේ උත්සවය සමාප්තියේ සමුගැනීමේ දේශනය සිදුකරමින් මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් සිය ධූර කාලය තුළ තමන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු සියලුම සාමාජිකයින්ට සිය කෘතඥතාව පුදකරන ලදී. එහිදී අවසන් වශයෙන් මේජර් ජෙනරල් චන්න වීරසූරිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක්ද තැබීය.