14th June 2022 17:24:24 Hours
51 වන සේනාංකයේ 30 වන සේනාංකාධිපති වශයෙන් රාජකාරි හොඹවා නික්ම යන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (04) දින යාපනය, කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 වන සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි.
එම සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්පුදායානුකූල කඳවුරු මුරයේ ගෞරචාරය පුදකරනු ලදී. ඉන් අනතුරුව, සරඹ භූමියේදී 14 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරචාරය ද එතුමන් වෙත පුදකළහ.
ඉන් අනතුරුව, සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සිය ධූරයේ රාජකාරි භාරදීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූ අතර, එතුමන් 51 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.
පසුව, ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ විසින් එම සේනාංකයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී භටපිරිස් අමතමින් සිය ධූර කාලය පිළිබඳ මතකයන් ආවර්ජනය කරමින්, රාජකාරි සාර්ථකව සිදුකරගෙන යාම සඳහා දැක්වූ සහයෝගය වෙනුවෙන් භටපිරිස් වෙත සිය කෘතඥතාවය පුදකරනු ලැබීය. තවද, යුද්ධ හමුදාවේ කීර්තිනාමය ආරක්‍ෂා කරගනිමින් තම යුද්ධ හමුදා දිවිය තුල කැපවීමෙන් යුතුව රාජකාරි සිදුකරන යන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවට එක් වූ සියළුම බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් නික්ම යන 51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත සුබපැතූම් එක්කරීමෙන් අනතුරුව සියළු නිල තේ පැන් සංග්‍රහයකටද එක් විය.
මෙම උත්සවයේ සමාප්තිය සටහන් කරමින් 51 වන සේනාංකය වෙත සිදු කරන ලද සේවය වෙනුවෙන් එම සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් විසින් සමරු තිළිණයන් ද මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ප්‍රදානය කරන ලදී.
මේ වනවිට මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ යුද සේවා ලේකම් ධූරයේ රාජකාරි සිදුකරනු ලබයි.